වන්නම් යනු එක් එක් අප්‍රාණික හා සප්‍රාණික වස්තූන් පිළිබඳ වර්ණනා අන්තර්ගතවන මාතෘකාවට අදාල තාලයකිව් ගායනා කරන ගායනා විශේෂයකි. පසු කලෙක මේවාට අදාල නැටුම්ද නිර්මාණය වී ඇත
මෙරට වෙනම ආකාරයක දෙමළ වන්නම් 20 ක්ද, අනුරාධපුර පරම්පරාවට අයත් වන්නම් 21 ක්ද, පහතරට සින්දු වන්නම් 32 ක්ද ඇත. වන්නම් භාවිතය පැමිණීමට පෙර සන්න චූර්ණිකා, යාදිනි, ප්‍රශස්ති ආදිය භාවිතා විය.
වර්ථමානයේ භාවිතා වන වන්නම් මීට වර්ෂ 300 කට පමණ පෙර, මහනුවර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ, මල්වතු විහාර වාසී භික්ෂූන්වහන්සේ නමකගේ සහයද ඇතිව, ඉන්දීය අභාෂයක් හිමි ගණිතාලංකාර බමුණෙකු විසින් නිබන්දනය කෙරූ බව විශ්වාස කෙරේ.
ගාහක වන්නම
සක් දෙවිදුගේ දක්ෂිණාවෘත මංගල හක්ගෙඩි නාදය වර්ණනා වේ. නාදය උස්ව පැතිරී යන අන්දම නිරූපිතය. අත්භූත රසය මවයි.
ගජගා වන්නම
රාජාභරණ සහිත මංගල හස්ති රාජයෙකුගේ ගමන් විලාසය, මිණි ගෙඩි ශබ්දයට කණ් සෙළවීම ආදිය වර්ණනා වේ. අත්භූත රසය මවයි.
තිත - 4 + 4 ( මහ තනි තිත ) ( 1 2 3 4 + 1 2 3 4 )
බෙර පදය - තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි
දිග දළ අටෙකි - සත් ගැබෙකි
කවිය - වැව් පොකුණද කි - සත් සිය ගැණ කි
එක පොකුණක කි - සිව් මාලෙ කි
කවිය - සිව් මල පෙති කි - ගැන තිස් දෙකකි
පෙත්තක නටු කි - සිව් සැටෙකි
කවිය - කවිකර වැනු කී - ලෙව් ඉසි බසෙකි
ගජගා නමකී - වන්නම කී
කස්තිරම- රුංතක ජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත්
තාග්ගජිං තක තරිකිට කුංදත් තාග්ගජිං තක තරිකිට කුංදත්
රුංතක ජිං ජිං තකුතක ජිං ජිං රැංතක ජිං තක තරිකිට කුද කුද
තාග්ගජිං තක තරිකිට කුංදත් රැංතක ජිං තක තරිකිට කුංදත් තා
සීරු මාරුව - තකුතක ජිජිකුද ගජිත ගජිත කුද ගජිගත කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා
අඩව්ව - තාම් දොම්ති ගත දොමිකිට කඩතක තරිකිට
කිතක දොමිති ගත කිත්තත් කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා
තුරඟා වන්නම
සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම කන්ථක අසුපිට නැගී ගමන් ගත් ආකාරය වර්ණනා කෙරේ. වීර රසය මවයි.මෙහි තාලය අශ්වයාගේ ගමන් කරන ආකාරය ඉස්මතු කරයි.
තිත - 2+3 ( සුළු මැදුම් දෙතිත ) (1 2 + 1 2 3 )
බෙර පදය - දොං ජිංත ගත දොංත දොං ජිංත ගත දොංත දොං ජිංත ගත දොංත දොං ජිංත ගත දොංත
තානම - තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්ද නා නා
තන තනෙන තන තනෙන තතන තම් දන තනෙන
තානත් තනත් තම් ද නා නා
කවිය - සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු
ගත් සිත් තොසත් පැවිදි අංගා
අණ කරන චන්නයෙන කන්ථකය අසු ගෙනෙන
ගෙන එදෙන අසුගෙ පිට නැංගා
ගත් ගත් පයත් අසුගෙ සබ්දත් වසත් සුරිදු
යන්නෙන් තොසින් තිදෙන සමගා
යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන
ගං තෙරට පත් වුනිය එමගා
ලත් ලත් සිතත් තිදෙන වෙන් වෙත් එකත් පසුව
මුත් කන්ථකත් වේය තුරගා
සිදුහතුන ගෙන වහන චන්න වල්ගය අතින
පැන්නෙන් එතෙර අනොම ගංගා
ගොත් සිත් මහත් රුසිරු ලත් යුත් සිදත් කුමරු
ගෙන් සත් රුගත් නරන අංගා
තිදෙන පැන ගියෙ ගගින එතෙද අණ ගෙන බැතින
ගෙදුව නැණ වර්ණයෙන තුරගා
කස්තිරම - කුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තාකුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තා කුද ගජිත කුද තා කුද ගජිත කුද තා කුද තා කුද තා කුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තා
සීරු මාරුව - තකුතක තරිකිට කුංදත් ගජ්ජිත් තක ජිත් කුංදත්
ජිකුතක තරිකිට කුංදත් දොං තා
අඩව්ව - තත් තකට තක රොං තක්කඩ ජික්කඩ කුද තක රොං
තක රොං ගජිං ජිකුද කිටිතකට කුංදත් ජික රොං
උරගා වන්නම
නාගයෙකුගේ ගමන හා ගතිගුණ ප්‍රකාශ වේ. වීර රසය මවයි.
මුසලඩි/සස වන්නම
ඉරු බැස යන සමයේ සතුටින් කෙලින හාවෙකුගේ ඉරියව් ප්‍රකාශ වේ. ශාන්ත රසය මවයි.
උකුසා වන්න
උකුස්සෙකු පියාඹන විට දක්නට ලැබෙන දර්ශනීයත්වය වර්ණනා කරයී. වීර රසය මවයි.
ඊශ්වර දෙවි හා මහලොව අතර වූ සංවාදාත්මක වර්ණනාවකි. අත්භූත රසය මවයි.
හනුමා වන්නම
වඳුරෙකුගේ ගමන් විලාසය, උසුළු විසුළු ආදිය ප්‍රකාශිතය. කරුණා හා හාස්‍ය රසය මවයි. විශේෂයෙන්ම රාම-රාවණ යුද්ධයේදී සීතා බේරාගැනීම සඳහා ඔත්තු බැලීමට ලංකාපුරයට වෙත පැමිණි හනුමා නම් වානරයාගේ හැසිරීම් මෙම වන්නම් ගායනාවන්ගෙන් සහ නර්තනයන්ගෙන් ප්‍රකාශ වේ. අවිනිශ්චිත වටපිටාවක ගිරෙන් ගිරට පනිමින් දුෂ්කර සහ සැකමුසු වීර වික්‍රමාන්විත ගමනක යෙදෙන හනුමා සම්බන්ධ සිදුවීම මෙම වන්නමෙන් විස්තර කෙරේ.
තිත - 2 + 2 ( සුළු තනි තිත ) (1 2 + 1 2 )
බෙර පදය -
කුද ගත ගත කුං කුද කුද ගත ගත කුං කුද කුද ගත ගත කුං කුද කුද ගත ගත කුං කුද
තානම -
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා තෙයි
තනම් දනත් තම් දනත් තනම් දන
තනම් දනත් තනෙනා
කවිය -
ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා
පුබුදිමින් අරුණ කළ මා ගොර
දෙමින් නැවත වට පිටින් බලති
නෙක උහුළු විහිළු පුදු මා
එයින් නැවත ඵලතුරින් තුරට පැන
මලින් ඵලද දඑ මා අත
දෙමින් රුගෙන කට කොනින් බුදති
වට පිටින් බියති බැලු මා
දුටින් අයෙක් සට පටින් පැනුම් රැළි
පොටින් නෙරා හෙව් මා බය
දුටින් එවිට අතුපතින් වසා මුව
ඉතින් නැතැයි පෙනු මා
මතින් උඩඟු සිත ගතින් දැඩිව පෙර
පැතුම් විලස දැරු මා නැණ
යෙනින් මෙලෙස ඉසි මතින් යෙදුව
පෙර මෙවන් වරුණ හනුමා
කස්තිරම -
රුංතක ජිං තක තරිකිට කුංදත් ///
තාග්ගජිං තක තරිකිට කුංදත් //
රුංතක ජිං ජිං තකුතක ජිං ජිං රුංතක ජිං තක තරිකිට කුද කුද
තාග්ගජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත් තා
සීරු මාරුව -
තකුතක ජිජිකුද ගජිත ගජිත කුද ගජිගත කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා
අඩව්ව -
තාම් දොම්ති ගත දොමිකිට කඩතක තරිකිට
කිතක දොමිති ගත කිත්තත් කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා
මයුරා වන්නම
කතරගම දෙවිගේ වාහනය වූ රණ මයුරා පිල් විදහා යෙදෙන රංගනය වර්ණනා කෙරේ. අත්භූත රසය මවයි.
සැවුලා වන්නම
කුකුළාගේ උපත ගතිගුණ විස්තර හා කතරගම දෙවිගේ සැවුල් කොඩිය ගැන කියවේ. අත්භූත රසය මවයි.
සිංහරාජ වන්නම
ඉබ්බෙකුගේ ප්‍රයෝගයකට අසුවී ලිඳකට පැන මරණයට පත් සිංහ රජෙක් පිළිබඳ වර්ණනා වේ. හාස්‍ය රසය මවයි.
නෙෙඅඩි වන්නම
බෝසත් නාග රාජයා ගැන විස්තර වේ. නාගයකුගේ නැටුම් විලාසය විදහා දැක්වෙන මෙහි මුද්‍රා විලාශයක් නැත. කරුණා රසය මවයි.
කිරලා වන්නම
කිරලෙකුගේ ඉරියවු හා නැටුම් විලාසය විදහයි. කරුණා රසය මවයි.
ඊරඩි වන්නම
යුධ භටයෙකුගේ ගතිගුණ මින් විස්තර කෙරේ. වීර රසය මවයි.
සුරපති වන්නම
උමයංගනාව නැතිවී වැලපෙන ඊශ්වර දෙවි ගැන විස්තර වේ. අත්භූත රසය මවයි.
ගණපති වන්නම
ගණ දෙවිගේ ස්වභාවය හා නුවණ ගැන වර්ණනා වේ. අත්භූත රසය මවයි.
උදාර වන්නම
රාජාභරණ වලින් විභූෂිත රජුගේ තේජාන්විත ගමන් විලාසය වර්ණනා කෙරේ. වීර රසය මවයි.
අසදෘස වන්නම
අසමසම තෙරුවණ් ගුණ අලලා සකස් වූවකි. වන්නම් දහ අට අතුරින් උසස්ම නිබන්ධනය මෙය වේ. මහනුවර යුගයේ රචිත අවසන් වන්නමයි. ශාන්ත රසය මවයි.
No comments:
Post a Comment